Saturday 2 February 2013

මා මළපසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි...


මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි
මා මළපසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනවි
නන්නාදුන නා ඔබ ගේ
අත් අකුරින් ලියනු මැනවි
අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඬ සඳ බැසගෙන යන සඳ
රෑහි නඟන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවී
පද රචනය – මහගම සේකර
සංගීතය හා ගායනය – ඩබ්.ඩී. අමරදේව

මම මහගමසේකරයන් ව කිසි දිනෙක දැක නැත්තෙමි. ඔහුගේ උඩුකය පිළිබිඹුවක් මා ප්‍රථමයෙන් දුටුවේ මා පාසල් ශිෂ්‍යයකුව සිටියදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තුළයි. මහගමසේකර නම් පුද්ගලයකු මිහිපිට ජීවත් වූ බව මට දැනෙන්නට පටන්ගන්නේ 1980 වර්ෂයේදීය. එතුමන් ගේ ගීත අසා තිබුණද ඒවායේ රචකයා සොයා වෙහෙසීමට තරම් උනන්දුවක් එවකට මා තුළ නොපැවතිණි. එහෙත් මාගේ ජීවිතයේ මෙන්ම අධ්‍යාපනයේ ගමන් මඟද වෙනස් කළේ එතුමන් බව පාඨක ඔබට පවසන්නේ ඒ අතීතය මිහිරියාවකින් සිහිකරමිනි. එයට සවන්දීමට තරම් පාඨක ඔබ කාරුණිත වේ යැයි සිතමි.
කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් මම එකල උසස් පෙළ හදාරමින් සිටියෙමි. භෞතික විද්‍යා විෂය සඳහා සෙනසුරාදා හවස නගර ශාලාව අසල බෞද්ධ කාන්තා විද්‍යාලයේ පැවැත්වූ භෞතික විද්‍යාපන්තියකට මම සහභාගි වීමි. ආනන්ද බාලිකා විද්‍යාලයේ නේවාසිකාගාරයේ සිට ඒ පන්තියට පැමිණි තරුණියක කෙරේ මගේ හිත ඇදී ගොස් තිබිණි. ප්‍රේමය වචනයෙන් ප්‍රකාශ කිරීමට ආත්ම ශක්තියක් නොමැතිව සිටි මම ඇයට ලිපියක් දෙන්නට ගොස් මහත් ලැජ්ජාවකට පත් වුණෙමි. අම්බලන්තොට වැනි ඈත දුර සිට කොළඹ පැමිණ සිටි ඇයට ඒ වන විට පෙම්වතකු සිටින බවක් මම දැන නොසිටියෙමි. දැඩිසේ චිත්ත පීඩාවට පත් මම පාසලේ පන්තිවලට සහභාගි නොවී පුස්තකාලයට රිංගා කල් ගතකිරීමට පුරුදු වුණෙමි. විද්‍යාලයට ඇතුළු වී වසර පහක් යනතුරු පුස්තකාලයට පා නොතැබූ මා පොත් අල්මාරියකින් පළමු වරට ඇදගත්තේ කවි පොතකි. ඒ මහගමසේකරයන්ගේ “සක්වාලිහිණි” නැමැති කවි පොතයි. එහි තිබූ එක කවියක් මම කොළයක ලියා සාක්කුවේ දමා ගතිමි. ඒ එවකට මා විඳි චිත්ත පීඩාව නිසා විය යුතුය.
අරුණෝදයේ ළා හිරු රැස් මත නටන
පිණි බිඳුවක් ලෙසින් ඔබ මට මුණ ගැසිණ
සැඩ හිරු රැසින් මිරිකෙන්නට පෙර නිවෙන
පිණි බිඳුවක් ලෙසින් ඔබ අහසට නැඟිණ”
එතැන් සිට මා ඔහු ගේ පොත් සොය සොයා කියවූ අතර අවසානයේ මම විද්‍යා අංශය අතහැර කලා අංශයෙන් විභාගයට පෙනී සිටියෙමි. එසේම මගේ පසුකාලීන නිර්මාණ ජීවිතයට ද දැඩිව ලැබුණේ මහගම සේකරයන් ආභාසයයි. අව්‍යාජ ලෙස හැඟීම් පළකිරීමට සේකර දැක්වූ කුසලතාව “මගේ පුංචි රෝස මලේ’ වැනි පද රචනාවක් සඳහා දැඩිව මට බලපෑ බව ප්‍රකාශ කළ යුතුය. කවදාවත් දැක නැති සේකර මගේ ජීවිතය වෙනස් කළේ ඒ ආකාරයෙනි.
”මා මළ පසු” නැමැති ගීතය හැත්තෑව දශකයේ දී රසිකයන් අතර අතිශයින් ජනපි‍්‍රය ගීතයක් බවට පත්වෙයි. මා අසා ඇති පරිදි මේ ඔහු ජීවිතයේ අවසානයට ලියූ පදමාලාවයි. තම රසිකයන් වෙත ඔහු කළ මේ අවසාන ආයාචනය එක් අතකින් දෛවෝපගතය. තම රසිකයන්ගෙන් හරිහම්බ කිරීමට තැක් නොකළ සේකරයන් මේ නිර්මාණය මඟින් ඉල්ලා සිටින්නේ කුමක්ද? එය සොයා බැලීමෙන් මහගමසේකර නම් වූ අව්‍යාජ කලාකරුවා තවදුරටත් හඳුනාගත හැකිවනු ඇත. මරණය පිළිබඳව මහගම සේකරයන්ගේ නිර්මාණයන්හි දැකිය හැක්කේ නැවුම් දැක්මකි. විටෙක මරණයට අභියෝග කරන ඔහු තවත් විටෙක මරණයේ සෞන්දර්ය දකී.
මන්ද ඔතන හැංගී උඹ කරන්නේ
අන්දකාර සලු පොරවා වැනෙන්නේ
නින්ද නැතිව මං පැදුරේ දපන්නේ
නින්ද සදාකාලික කොට දියන්නේ
(ව්‍යංගා)
එසේම “නොමියෙමි” නැමැති කාව්‍ය ග්‍රන්ථය තුළ ඔහු මරණය දකින්නේ සුන්දර යුවතියක ලෙසයි.
”පතුළ සිඹින වසින වරළ
ගන මේ කුළු හිසිනී
දෙතන දෙකඳු මැද ඇලි ඇලි
ගලන දුහුල රමණී
නිලන නිලඹ සිහිලඹ පිරි
නයන පොකුණු සොබනී
සසර කතර ගිම් සනහන
කෙම් බිම ඔබ මරණී”
නොමියමි)
මරණය තමා කරා ඉක්මනින් පැමිණේවිය, වැනි හැඟීමක් සේකර තුළ නිරන්තරයෙන් තිබුණා විය යුතුය. ඒ නිසා තමාගේ නිර්මාණ පි‍්‍රයකළ රසිකයන් ගෙන් ඔහු ඉල්ලා සිටින්නේ ඉක්මනින් මරු තුරුළට යන තමා ගැන දුක් ගීයක් සොහොන්කොතේ ලියා තබන ලෙසයි. ඔහුට අවශ්‍යවී ඇත්තේ, කිත් යසස් මිල මුදල් නොව රසිකයන්ගේ ආදරය පමණයි.
”මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එනකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි”
සේකරයන් මේ බලාපොරොත්තු වන්නේ යෞවනියකගේ ප්‍රේමය නොව රසිකයන්ගේ ප්‍රේමයයි. “නන්නාදුනනා ඔබ” යන්නෙන් අදහස් කරන්නේ කවරදාවත් ඔහු දැක නැති ඔහුගේ රසික පිරිසයි.
’නන්නාඳුන නා ඔබගේ
අත් අකුරින් ලියණු මැනවි’
මේ මහා කවියා ගේ හදවත රසිකයන් ගේ ආදරය බලාපොරොත්තු වූ බව මේ තුළින් සංකේතවත් වේ. දුකෙන්ම පෝෂිත වූ ඔහුගේ කවිත්වය පෙරළා බලාපොරොත්තු වන්නේ ද දුකයි. මරණයෙන් පසුද තම ආදරණීය රසික රසිකාවියන්ගේ දුක වැලඳ ගැනීම මඟින් සේකරයන් තුළ පැවති දයාබරත්වය දැනුවත් වේ. යුරෝපීය රොමැන්ටික් සාහිත්‍යයද, සම්භාවනීය පැරණි සාහිත්‍යද සිංහල ජනකවියද සේකරයන්ගේ කාව්‍යමය භාෂාව තුළ රඳා පවතින අතර අවැසි විටක ව්‍යවහාරික බස් වහරින් ද සේකර රසික හදවත් ස්පර්ශ කරයි.
අඩ සද බැස ගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඩ සඳ බැසගෙන යන සඳ
රූහි හඬන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවි
සේකරයන් විසින් මවනු ලබන්නේ පාළු ශෝකී පරිසරයකි. මේ මහා විශ්වයේම පවතින්නේ පාළු ශෝකී බව ඔහු වචන කීපයකින් මවාලනු ලබයි. කටුක යථාර්ථය ඉක්මවා යන මෝහනීය සෞන්දර්යයක් සේකරයන්ගේ ආත්මය පුරා ගැබ් වී තිබූ බව මෙහිදී පැහැදිලි වෙයි. අවසන් හුස්ම හෙළීමෙන් පසුද ඒ මෝහනීය සෞන්දර්යයේ ජීවත්වීමට ඔහු ඇලුම් කළ බව මෙහිදී පසක් වෙයි. තවදුරටත් ජීවත්වන උන්ගේ ශෝකය වුවද බෙදා හදා ගැනීමට තම මියගිය ආත්මය සූදානම් බව මේ මඟින් දැනුවත් වෙයි.
මේ ගේය පද වලට සංගීතමය අරුත සපයන්නේ පණ්ඩිත් අමරදේවයන්ය. හැටේ දශකයේ පමණක් නොව හැත්තෑව දශකයේ අඩක් ද මහගම සේකර අමරදේව සුසංයෝගය තුළින් පිරී පැවතිණි. සේකර වචනයෙන් මවන පරිසරය අමරදේවයෝ සංගීතය හා සුගායනය ඔස්සේ අප වෙත ගෙන එති. එහෙත් සෙහොන් කොතේ එක් ගීයක් ලිවීමෙන් සේකර නොමැති දුක තුනීකරගත නොහැකිය. ඔහු වරෙක මෙසේ ලීවේය.
”මගෙ කවියෙන් මා නොසොයන්”
එහෙත් සේකරයාණනි. අපි ඔබේ කවියෙන් ගීයෙන් ඔබ සොයාගත්තෙමු. ඔබව සොයා නොගත්තේ නම් අප ඔබව අපේ හදවතට ඇතුළු කරගන්නේ කෙසේද? ආදරණීය සේකර... අපි ඔබේ සොහොන් කොතේ දුක් ගී නොලියමු. මන්ද ඔබ මිය නොඟිය බැවිනි. ජීවිතයේ අප්‍රමාණ දුක් වලදා ඒ දුකට මිහිරක් එක්කළ ඔබේ සෑම අකුරක් ම අප අපේ හදවතේ ගැඹුරුම තැන සඟවා ගන්නේ අන් කිසිවක් නිසා නොව, අප මිය ගිය පසු යළි යළිත් අපට ඇසෙනු පිණිසය.

සටහන-ධම්මික බණ්ඩාර

Wednesday 30 January 2013

සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී....


සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී 
තුඩින් හදවතක් අරගෙන 
ගිනිගත් තල් අරඹට 
ආවාදෝ ඉගිල්ලී............... 

දිව නුහුරු බසින් පෙම් කවි කී 
කුරුල්ලාට වසී වී 
ගිනි මලින් තැනූ මල් පොකුරක් 
අතට ගත්ත මනාලී 
මධු සමේ මධුර කටු අතරේ 
පිපී වැනුණ සුරෑපී 

ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ 
විගඟ සෙනග හඩාවී 
ඒ කඳුළු සිංහලට නගන්න 
නුඹට හැකිය ප්‍රියාවී 
ආදරය නුඹට බාරයි 
රැක ගනින් දේවතාවී.... 

මේ සමීප ගීතයේ යට ගියාව ගැන වැඩි දෙනෙක් නොදන්න කතාන්දරය තමයි මේ කියන්න යන්නෙ. 


1980 දශකයේ ගොඩාක් ජනප්‍රිය වුන සඟරාවක් තමයි " දයාසේන ගුණසිංහ " මහත්මයාගේ , " සිව්දෙස සඟරාව ". 80 දශකයේ අග භාගයේ එක්තරා දවසක උදෑසන සිව්දෙස සඟරාව කියවමින් සිටි විශාරද ගුණදාස කපුගේ අපේ ආදරණීය ගායන ශිල්පියාණන් පිටු අතර තියෙන අපූරු කතාවක් දකිනවා . ඒ කතාව දැකපු ගමන් ම කපුගේ ශිල්පියාට සිහියට නැගෙන්නේ කළණ මිතුරු රත්න ශ්‍රී විජේසිංහ ව . ඒ වෙලාවෙම තමන්ගේ මිත්‍රයට දුරකතනයෙන් කථා කළ කපුගේ මහත්මයා " සිව්දෙස ' සගරාවේ තියෙන මේ ප්‍රවෘත්තිය බලන්නැයි කියනවා. ඒ පුවත මෙන්න මේකයි , 

මාතර කඹුරුපිටිය කියන ගමේ මධ්‍යම පාන්තික පවුලකට දාව උපදිනවා දියණියක්. ඇය නමින් ~ විනීතා සමරසිංහ ~ ඇය තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු නිම කළ පසු පොලිස් කාන්තාවක් ලෙසින් සේවයට බැඳෙනවා. ගම කඹුරුපිටියෙ වුනත් රැකියාව කරන්න සිදුවෙන්නේ කිරුළපන පොලීසියට අනුයුක්තව . මේ කාලෙදිම පොලිස් සේවයට බැදුණ උතුරුකරේ දමිළ තරුණයෙකුත් කිරුළපන පොලිස් ස්ථානයට පැමිණෙනවා. ඔහුට සිංහල භාෂාව හසුරුවන්න අසීරුයි .ඒ වගේමයි ඇයට දමිළ බස හසුරුවන්නත් අසීරුයි. නමුත් තරුණ හදවත් වල ආදරයට ඒක බාදාවන් නොවන වග මේ දෙන්න ඔප්පු කරනවා .දවසින් දවස මේ දෙදෙනාම ප්‍රේමය මතින් ඔවුන් දෙදෙනාටම උරුම වුණු අලුත් ලොවක් තනා ගැන්මට උත්සුක වෙනවා. 
නමුත් එවකට රටේ උද්ගතවෙලා තිබුණ මහා වාර්ගික ගැටළුව හේතුවෙන් මේ ආදර කතාවට විනීතාගේ නිවසින් කිසිදු ආකාරයකින්වත් සහයෝගයක් නොලැබී යනවා. නමුත් විනීතගේත් නඩේෂන්ගේත් නෑදෑ සනුහරයම විරුද්ධ වෙද්දී කාටත් හොරා දෙන්නම යුග දිවියට එළඹුනා. යුගදිවි සිරි මැදින්ම ඔවුන් ඔවුන්ට උරුම වුණ සුන්දර ලොවක් හොයා ගෙන නඩේෂන්ගේ ගම් පළාත වුණ උතුරුකරයට පියමැන්නා. ඒත් ඒ වෙනකොට ජාතිවාදී ගිනිසිළුවෙන් උතුරුකරයේ ගිනි ඇවිලෙමිනුයි තිබුණේ. එදා නව යුවතිපතීන් ලෙසින් උතුරුකරයට ගිය ඔවුන් එල් . ටී . ටි. ඊ . යදමේ පුරුක් බවට පත්වුනා . 
අවසන නඩේෂන් එල්. ටී . ටී . ඊ . සංවිධානයේ පොලිස් අංශයේ නායකයා බවටත් විනීතා සමරසිංහ එම සංවිධානයේම ප්‍රබල කොටි සාමාජිකාවක් බවටත් පත් විය. එදා සිදු වූ මේ සිදුවිම මුල් කරගනිමින් රත්න ශ්‍රී විජේසිංහ නම් වූ අසහාය ගේය පද රචකයා අතින් ලියවුනා වූ මේ සොඳුරු ගීතය අසන්නට අද දිනයේ නඩේෂන්වත්.... විනීතාවත් .... අපි අතරේ නොමැත. වියරු වැටුණා වූ බල ලෝභී සමාජය මැද ජාතිය පාවා දී සටන් වැද අවසන අද ඔවුන් දෙදෙනාම මිහිදන් වී ගොසිනි. ඔවුන්ගේ ගෙවුණු ජීවිතය ගැන ඔබ කුමන නිර්වචන කළත් ඔවුන් දෙදෙනා අතර හටගත් ඒ ප්‍රේමවෘතාන්තයෙන් ඇරඹි මහා කතාවක උත්තුංග සංක්ෂිප්තය මෙලෙසින් අපේ ගේය ලෝකය සදානන්දනීය කරනු ඇත.