Sunday 30 September 2012

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්...


පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් 
නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත්
ආදරෙන්...

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා

නුහුරු නුපුරුදු හීන අරන්
ළඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇඳුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා
ඇසිල්ලක දුටු හීනේ හිත හුඟක් රිදුණා
අරුත නොදකින සෙනෙහේ ඔය නමට රැඳුණා

කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට පිවිසෙන තැන බිත්තියෙහ රඳවා තිබූ ‘සිත් කවිය’ ළඟ දහසකුත් දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙන ගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැන විශ්වවිලද්‍යාලයේ නොදන්න කෙනෙක් නැහැ.

ඒ තරමටම මෙය ජනප්‍රියයි. මේ ‘සිත් කවිය’ අද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක් හිටියා. එම පීඨයේම ඉගෙන ගන්නා ඇය, උතුරු කොනේ (ගුණදාස කපුගේ) ඇතුළු ගීත රැසක් රචනා කළ චන්ද්‍රා වාකිෂ්ඨයන්ගේ දියණිය. රචිතා, සිත් කවියේ අදහස් කියෙවේ බොහොම ආසාවෙන්. ඒ ඇය කවියට, ගීතයට බොහෝ සෙයින් ප්‍රේම කළ හින්දා. සිත් කවියෙහි රචිතාගේ යහළුවකුගේ සිතැඟි විවිධ මාතෘකා යටතේ පළ වුණා. එහෙත් එන්න එන්න ඔහුගේ අදහස් ලියවුණේ යොවුන් ආදරය ගැන විතරයි. ඔහු ප්‍රේමවන්තයෙක් වෙලා. ඔහුගේ සිත් දිනා ගත්තිය විශ්වවිද්‍යාලයෙම ශිෂ්‍යාවක්. ඔවුන් දෙපොළගේ ප්‍රේමය කාලයත් සමඟම තීව්‍ර වුණා. විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය ඇතුළේ වසරේ හොඳම පෙම්වතුන් යුවළ තෝරනවා. මේ අවුරුද්දට තේරුණේ ඔවුන්.

එක්තරා උදෑසනක රචිතා ‘සිත් කවිය’ට සමීප වුණේ පුරුද්දට වගේ. පුදුමයක්! අර පෙම්වතාගේ ආදරණීය අදහස් ඒකේ නැහැ. ඒ වෙනුවට විරහ පද වැල් කිහිපයක් එහි ගෙත්තම් වෙලා. ඒ අකුරු අඬන්න ඔන්න මෙන්න. හේතුව හොයලා බලද්දී පෙම්වතියට හොඳට සල්ලි බාග තියනවා. පෙම්වතා සාමාන්‍ය පවුලක දුප්පත් කෙනෙක්. ගැහැනු ළමයගේ මවුපියන් බලපෑම් එල්ල කරනවලු මේ සම්බන්ධය නවත්වන්න කියලා. කාලයක් මේ දෙන්නා ඈත් වෙලා හිටියා. හදිසියේම පෙම්වතිය නැවතත් පෙම්වතාට කිට්ටු වුණා. ඔහුට මේක හරිම අදහාගත නොහැක්කක්. ඒ කාලයේදීම ඔහු ‘සිත් කවියට’ නිසඳසක් ලියලා. රචිතා ඒක කියෙව්වා.

‘ඔබ මගේ ජීවියට ආයේ ආවා. ඒත් ආයේ යයිද කියලා සැකයි’

මේ ඒ පද ටිකේ අවසානය. එය රචිතාගේ සිතට තදින්ම දැනුණා. විශ්වවිද්‍යාලයට නිවාඩු ලැබුණා. රචිතාගේ හිතමිතුරු නව පරපුරේ සංගීතඥ තිළිණ රුහුණගේගෙන් තනුවකට ගීතයක් ලියන්න නිකමට මෙන් ඇරැයුම් ලැබෙන්නේ මේ කාලේ. ඒ තනුව දෙතුන් සැරයක් ඇසූ ඇයට මතක් වන්නේ අර පෙම්වතුන් යුවල සහ ඉහත සඳහන් කළ කවි පේළිය.

ගීයේ මූලික ටික නිර්මාණය කොට අවසන්. දැන් මේක කාටද දෙන්නේ. ගීතයේ ශෛලියට හුරු වූ ගායකයෙක් ඉන්නවා. ඒ ආත්මා ලියනගේ. ජංගම දුරතනයේ අංක ඔබමින් තිළිණ ආත්මාට ඇමතුමක් ගත්තේ ගීතය ගැන කියන්න.

අපෝ බැහැ මල්ලි. සිංදු කරමු කියලා පහුගිය කාලේ ඔයා වගේ අලුත් අය ගොඩ දෙනෙක් කතා කළා. ඔක්කොමේම තියෙන්නේ එකම ශෛලියක්නේ.

රිසීවරයේ එහා කෙළවරෙන් ආත්මාගෙන් අයහපත් ප්‍රතිචාරයක් ලැබුණා.

එහෙම කියන්න එපා අයියේ. අහලම බලලා සිංදුව ගැන කියන්නකෝ.

තිළිණගේ දැඩි පෙරැත්ත මත ආත්මා ගීය ඇහුවා.

ෂා, මගේ රේන්ජ් එකේමනේ සිංදුව යන්නේ. හරියට මටම හදපු එකක් වගේ.

ආත්මාගේ මුහුණ ඒ අන්දමින් වෙනස් වුණා.

මද්දහනේ හිරු මුදුන් වන යාමයක ආත්මා නාවින්නේ පිහිටා ඇති තිළිණගේ ශබ්දාගාරයට ආවා.

මල්ලි අපි ටක් ගාලා වැඩේ කරමු. මට තව වැඩ කිහිපයකට යන්න තියෙනවා.

ආත්මා මයික්‍රෆෝනය අසලට ගොස් හෙඩ්ෆෝනය හිසේ රුවා ගන්න ගමන් පැවසුවා.

එහෙත් එදා තිබූ කාල වේලාවට පටිගත කළ ගීතයට තිළිණ එතරම් සෑහීමකට පත් වූයේ නැති තරම්.

අයියේ මේ වැඩේ හරි යන්නේ නැහැ. වෙන දවසක රෙකෝඩිං එක කරමු.

තිළිණ පටිගත කළ ගීතය මකා දමමින් කීවා.

තවත් උදෑසනක ආත්මා ආවා. පටිගත කිරීම ඇරැඹියේ උදේ දහයට පමණ. හිතට දැනෙන අවශ්‍ය හැඩතල ආත්මාගෙන් ලබා ගනිමින් ගීතය පටිගත කොට අහවර වන විට රාත්‍රී අටත් පහුවෙලා.

උඹ අද මගේ නියපොත්තේ ඉඳලා ගැලෙව්වා. මාව මරව මරව කොහොම හරි ඕන විදිහටම සිංදුව රෙකෝඩ් කළා නේද?

ආත්මා , තිලිණගේ පිටට තට්ටුවක් දැම්මේ එහෙම කියමින්.

ගීය ගුවන් විදුලියෙන් නිතර ප්‍රචාරය වන්න පටන් ගත්තා. ආත්මාගේ ජංගම දුරකතනයට නිවනක් නැහැ.

අනේ ඔයා අපිව ආයෙමත් පිස්සු වැට්ටුවා.

ආත්මාගේ පැරැණි රසිකාවියන් එහෙම කියූ වාර බොහොමයි. ලියතඹරාගෙන් පසු ආත්මාගේ හොඳම සිංදුව මේක. සමහරෙක් එහෙම කීවා.

විශ්වවිද්‍යාලයේ නිවාඩුව අවසන්. රචිතා කලා පීඨයට ඇතුළුවන මාවත දිගේ ඇවිදගෙන ආවා. විශ්වවිද්‍යාලය පුරා ‘ආයෙමත් ආදරෙන්’ ජනප්‍රිය වෙලා. රචිතාට ඒ වග දැනුණේ කිහිප දෙනෙකුගේම ජංගම දුරකතනය නාද වීම සඳහා එය යොදාගෙන තිබූ නිසා. මේ කතාවේ පෙම්වතුන් යුවළට රචිතා මේ ගීතයේ සත්‍ය කතාව කිව්වා. ඒ අයට හරිම පුදුමයි. මේ සංවේදී ගීතය ඔවුන්ගේ නෑදෑ සනුහරයම අහලා. අලුත්ම ආරංචිය වන්නේ මේ ගීතය ඒ පෙම්වතුන් යුවලට සදහටම එකතු වන්නට ආශිර්වාද කර ඇති බවයි.

Wednesday 26 September 2012

අසුරු සැනින් එක මොහොතක දී...


ප්‍රවීන නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලියේ වැඩ කරන කාලයේ දී ඉතාම ළගම ඇසුරක් තිබුණු කෙල්ලෙක් සහ කොල්ලෙක් ඉදලා තියනවා. හැම දෙනාම හිතා ගෙන ඉදලා තියෙන්නේ මේ දෙන්නා පෙම්වතුන් කියලා.....නමුත් එහෙම දෙයක් තිබිල නෑ.
පස්සේ කාලෙක ආපු යෝජනාවකින් තරුණිය විවාහ වෙනවා. ඒ එක්කම ඇය තීරණය කරණව රැකියාවට සමුදෙන්න.
තුසුම් ආන්ටි ඇර ගෑණු ළමයගෙන ඇහුවාම මේ සම්බන්ධයක් වගේ තිබ්බ දේ ගැන ඇය කිව්වලු මම බලං හිටියේ එයා මගෙන් අහනකං, හේතුව ම ගෑනු ළමයෙක් නිසා මට ෆස්ට් මූව් එක කරන්න බෑ නේද අක්කේ කියලා. ඇත්තටම අර ගෑණු දරුව ඉදලා තියෙන්නේ මේ කොල්ලා ගැන ප්‍රේමයෙන්.
ගෑනු දරුව රැකියාවෙන් ඉවත් වුණ දවසේ කුසුම් ආන්ටි කොල්ලට කියල තියනව, ඇයි අර ළමය ගෙන් ඇහුවෙ නැත්තේ එයා හිතේ තියා ගෙන නේ ඉදලා තියෙන්නේ කියලා, ටිකක් චෝදනා මුඛයෙන්. අර කොල්ලා කිව්වලු අනේ අක්කේ මම ඇහුවෙ නැත්තේ බෑ කිව්ව නම් අපේ මේ මිත්‍රත්වයත් ඉවරනේ, ඇත්තට ම මම එයාට ආදරේ කලා, එයා පොඩ් හරි ඉගියක් දෙනකන් මම හිටියේ, නමුත් එහෙම පෙන්නුවේ නැති නිසා මම අහන්න ගියේ නෑ කියලා.
පසුව දවසක අර ගෑණු දරුව හමු වුණාම කුසුම් ආන්ටි මේ ගැන ඇයට පවසලා තියනවා. ඇය වැළපෙමින් කියල තියෙන දේ තමා මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ. ඇය කිව්වලු, අනේ අක්කේ, ලෝකය නතර වෙලා ආයෙ අපි අතීතයට ගියොත් මම එයාට ආදරේ කරනව කියලා එයාට කියනව කියලා....(Posted by Muditha Ekanayake,සිංහල ගී පද - Sinhala Lyrics)

අසුරු සැනින් එක මොහොතක දී..
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා..
ඔබේම වී මා
මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා..

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා
මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

සෙනෙහෙ විමානේ කිරුල දරන දා
සිඟිති තොලට කිරි හිනා දකින්නට
එක සෙවනක දී හමුවේවා
ඔබේම වී මා
මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

-යමුනා විනෝදනී-

Tuesday 20 September 2011

විදුලි මිණි පහන් දැවී...

විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ..//


එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ..//


දෙන්න කන්න බොන්න කොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා..//


ඔබේ ලෝකයෙන් එහා
මගේ ලොව බලා හිඳී
පළා යමි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී..//


ගී පද - ලූෂන් බුලත්සිංහල

ගුණදාස කපුගේ ලාංකීය කලා කෙතට බිහිවූ නැවත කිසිදාක බිහි නොවන ආකාරයේ සැබෑ මානව හිතවාදී කලාකරුවෙක්.කපුගේ විප්ලවවාදීයෙක් ලෙස හැදින්වුවාට වරදක් නැහැ. ඒ ඔහු පීඩිත පන්තිය වෙනුවෙන්,අයිතිය වෙනුවෙන් වෙනස්ම ආකාරය ගීත ගැයූ ගායකයෙක්.ඇත්තෙන්ම ඔහු වමට බරව තම සංගීතය මෙහෙය වූ සැබෑ මානව හිතවාදී කලකරුවෙක්.ඔහු ගායනා කල ගීත බොහොමයක් එවැනි ගීතයි.සබඳ අපි,අයියන්ඩියේ,විදුලි මිනි පහන් එවැනි ගීතයන්ට හොදම උදාහරන ලෙස හැදින්විය හැක.

ඔහු මිනිසුන් වෙනුවෙන් ගායනා කල සැබෑම මිනිසෙක්.ලූෂන් බුලත්සිංහලයන් අතින් ලියවුනු මේ ගීතයත් එවැනි ගීතයක්.පීඩිත පන්තියත් ධනපති පන්තියත් අතර ඇති දුරස්බව මැනවින් පැහැදිලි වන මෙම ගීතය ඔහු විසින් ගායනා කල විශිෂ්ඨ ගීතයක් වන්නේ ඒ නිසාවෙනි.

පීඩිත පන්තිය සහ ධනපති පන්තිය අතර ඇති පරස්පර භාවය මුල් කරගෙනයි මෙම ගීතය රචනා වෙන්නේ.ඇත්තෙන්ම වර්ථමානයේදී අහිංසක දිලිඳු පවුලකට එක වේලක් සොයාගන්න,තම දරුවන්ගේ කුස පුරවන්න අහරක් නැතිව අසරණ වෙත්දී ධනපති පන්තියේ මහා ධනපතියෝ එක් රැයකින් දහස් ගනන් වලින් සාද පවත්වා මුදල් නාස්ති කරන රටකයි අපි ජීවත් වෙන්නේ.අහිංසක් දිළිඳු දරුවෙකුගේ කුසට එක වේලක් නැති රටකයි ධනවත් මව් පියෝ තම දරුවන්ගේ උපන්දින සාද සදහා මිලියන ගනන් වියදම් කරන්නේ.මේ ක්‍රමය වෙනස් විය යුතුයි.නමුත් වෙනස් නොවන එකයි ඇත්ත.වර්ථමානයට හොදටම ගැලපෙන මෙම ගීතයෙත් ඇත්තේ එම පීඩිත පන්තිය සහ ධනවත් පන්තිය අතර ඇති පරස්පර භාවයයි.

ගීත රචකයා මේ පරස්පර භාවය මැනවින් පැහැදිලි කරන්න ආදරය කියන බැදීම මුල් කරගෙන තමයි මේ ගීතයය රචනා කොට තිබෙන්නේ.

ධනපති පන්තියට අයත් යමක් කමක් ඇති නාගරික පවුලක තරුණියක් සහ දුප්පත් ගමක තරුණයෙක් විවාහාවෙලා එම තරුණයා මුහුණ දෙන අත්දැකීමක් තමයි ගීතයේ කියවෙන්නේ.ආදරය නිසා විවහ වූ නමුත් එම පවුළ් පරිසරය ඔහුට ගැලැපෙන්නේ නැහැ.ඔහු එම සමාජයට ගැලපෙන්නේ නැහැ. ඇය ඇයගේ මිතුරු මිතුරියන් පිරිවරාගෙන නිවසේ සාදපවත්වමින් විනෝද වෙත්දී පුර්ෂයෙකු ලෙස ඔහුගේ පවුලේ ආධිපත්‍ය අහිමි වෙනවා.මේ පරිසරය තුල ඔහුට කිසිම බලයක් නොමැති අයෙක් බවට පත්වෙනවා.

''කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ''  වැනි යෙදුම් වලින් ඒ බව මනාව පැහැදිලි වෙනවා.

''විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ...''

නේක වර්ණ විදුලි බුබුලු මැද,බොළඳ ගී මැද අදුරු මුල්ලක සිරවී සිටින මම ඔබේ මන්දිරේ කුරා කුහුඹුවෙක් තරම් කුඩාය.

''එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ''

ඇය හැමටම කථාබස් කරමින් විනෝද වෙත්දී ඇයට ඔහු මතක නැහැ.ඇගේ හඬ ඔහුට ඈතින් ඇසෙනවා.

''ඔබේ ලෝකයෙන් එහා
මගේ ලොව බලා හිඳී
පළා යමි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී.''

ඔබේ මේ ලෝකයෙන් එහා මගේ ලොව බලාසිටිනවා.මම ඔබේ ලොවෙන් පලා යන්න යනවා මගේ ලෝකය සොයා.

Tuesday 6 September 2011

මගේ පුංචි රෝස මලේ...

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා...


කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්...
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න...
තරහක් නැහැ නුඹ බැස යන්න...


මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනවනම්...
ආසයි මං කවුළු පියන්
ඇරලා තියන්න...
තරහක් නැහැ නෑවිත් ඉන්න...


ගී පද - ධම්මික බණ්ඩාර

ලාංකීය සංගීත අඹරේ රන් තරුවක් ලෙස හැදින්වෙන අමරසිරි පීරිස් නම් විශිෂ්ඨ කාලාකරුවාගේ වගේම මාගේ ප්‍රියතම ගායකයාගේ ගීතයකින් ආරම්භයට මුලපුරන්න මට හිතුනා.
ඇත්තෙන්ම ඔහු ඉතා දක්ෂ මෙන්ම පරිපූර්ණ ගායකයෙක් වන්නේ ඔහු විසින් ගායනා කරන ලද මේ ගීත සමුදාය නිසයි.ගැඹුරු කට හඩ මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව අතින් ඔහුගේ ගීතවලට සමකල හැකි වෙනත් නිර්මාණ නැති තරම්.මගෙ හද බොහොම ස්පර්ෂ කරපු වගේම මාව ගොඩක් සංවේදී කරපු ගායකයෙක් තමයි අමරසිරි පීරිස් නම් සුන්දර කලාකරුවා.ඔහුගේ ගීත අතරින් වඩාත්ම සංවේදී ගීතය තමයි මේ ගීතය.ඒ වාගේම මගේ ප්‍රියතම ගීතයත්,මා වඩා සංවේදී කරනු ලැබූ ගීතය මේ ''මගේ පුංචි රෝස මලේ'' ගීතයයි.ඒ එම ගීතය සමග මටත් ඇති සම්බන්ධයක් නිසාවෙන්.
ධම්මික බණ්ඩාර නම් ගීත රචකයා අතින් ලියවුනු සැබෑ අත්දැකීමක් තමයි අමරසිරි පීරිස් ගේ කටහඩින ගීතයක් බවට පරිවර්තනය උනේ.මේ ගීතය සැබෑ අත්දකීමක් ඇසුරින් ලියවුනු ගීතයක්

ගීතයේ කථාව මෙසේයි.
ආදරය වයස් භේදයක නොමැතිව හැමදෙනාටම දැනෙන හැගීමක්.ඒකට වයස් භේදයක් නැහැ.මේ ගීතයත් එයට හොදම උදාහරනයක්.ලංකාවෙ තවත් එක් වැඩිහිටි ගායකයෙකුට උනු සැබෑ සිද්ධියක් තමයි මේ රචනාවෙලා තියෙන්නේ.

මේ ගායකයා කළුතර ප්‍රදේශයේ සංගීත පන්තියක් කරගෙන ගියා.ඔහුගේ පන්තියට ආවා වයලින් ඉගෙන ගන්න තරුණ ගැනැණු ළමයෙක්.ඔහුට ඇය පිළිඹද පුදුමාකාර ආදරයක් ඇති උනා.මේ පුංචි කෙල්ල පන්ති නොපැමිනෙන දිනවලා ඔහුට පන්තිය කරන්නවත් හිතුනෙ නැහැ.ඒ තරම් ඔහුගේ හිත් අර පුංචි කෙල්ලට බැදිලයි තිබුනේ.ඔහු පන්තිය කරන අතර තුර කවුළුවෙන් මග බලා සිටිනවා ඇය එයි කියා.
ධම්මික එක් දිනක් මේ ගායකයා හමුවන්න යනවා ගීතයකට තනුවක් නිර්මාණය කරගන්න.නමුත් ඔහු නිවසේ සිටියේ නැහැ.පසුව ඔහු අවන්හලක බලන අවස්ථාවේදී මේ ගායකයා එම අවන්හලේ හොදටම බොනවා.ධම්මික් දුටු සැනිනි මේ වැඩිහිටි ගායකයා හඩාවැටුනා.''මචං අර කෙල්ල කසාද බදිනවා,බුලත් අතක් දීලා මට වැදලා ගියා'' මේ ගායකයා හඩා වැටෙමින් කිව්වා.

ආදරයේ වියෝව වයස් භේදයක් නැතුව දැනෙන හැගීමක්.පෙම්වතිය අහිමි වූ පෙම්වතෙක් විදින ඒ වේදනාවයි ''මගේ පුංචි රෝස මලේ'' ගීතයේ ලියවුනේ.ධම්මිකගේ පදරචනය අමරසිරි පීරිස්ගේ කටහඩින් ගීතයක් බවට පත් වුනේ එසේයි.

ආදරයට හරස් උනේ වයසයි.ඔහු වයසින් වැඩිහිටියෙක් ඇය ලාබාල තරුණියක්.ආදරයට වයස බලපාන්නේ නැහැ.නමුත් අසම්මතයැයි සිතූනමුත් තහංචි දැමිය නොහැකි හැගීමක්.

''මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා...''


හිතේ ඇති ආදරේ කියාගන්න හැකියාව නැති උනත් ආසයි ඒ දේ කියන්නට.ඇය ආදරේ තේරුම් නොගත්තත් ඇය සමග තරහක් නැහැ.

''කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්...
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න...
තරහක් නැහැ නුඹ බැස යන්න...''


ඇය ඔහු ලගට එනවනම් ඔහු කැමතියි.නමුත් නාවා කියලා ඇය සමග තරහ වෙන්නෙත් නැහැ.

''මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනවනම්...
ආසයි මං කවුළු පියන්
ඇරලා තියන්න...
තරහක් නැහැ නෑවිත් ඉන්න...''


මෙලෙස සැබෑ අත්දැකීමක් ගීතයක් බවට පත්වුනා.අවසාන වශයෙන් කිවහැකි දෙයනම් ආදරයට වයස් භේදයක් නොමැති බවයි.

ඇරඹුම...

සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් හැමදෙනාටම රසවිදිය හැකි.ගීතය යනු හදවතට දැනෙන අදහසක් සංගීතවත් කිරිමක්.ගීතයකට පුලුවන් කෙනෙක් හිනස්සන්න වගේම හදවතක් හඩවන්නත්.එවැනි හදවතට දැනුනු ගීත සමුදායක් අතුරින් දෝතක් මේ...

''එන්න මා සමග හිතට දනුනු ගීතයක් හදවතින් කියවන්න.''