Saturday 2 February 2013

මා මළපසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි...


මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි
මා මළපසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනවි
නන්නාදුන නා ඔබ ගේ
අත් අකුරින් ලියනු මැනවි
අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඬ සඳ බැසගෙන යන සඳ
රෑහි නඟන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවී
පද රචනය – මහගම සේකර
සංගීතය හා ගායනය – ඩබ්.ඩී. අමරදේව

මම මහගමසේකරයන් ව කිසි දිනෙක දැක නැත්තෙමි. ඔහුගේ උඩුකය පිළිබිඹුවක් මා ප්‍රථමයෙන් දුටුවේ මා පාසල් ශිෂ්‍යයකුව සිටියදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තුළයි. මහගමසේකර නම් පුද්ගලයකු මිහිපිට ජීවත් වූ බව මට දැනෙන්නට පටන්ගන්නේ 1980 වර්ෂයේදීය. එතුමන් ගේ ගීත අසා තිබුණද ඒවායේ රචකයා සොයා වෙහෙසීමට තරම් උනන්දුවක් එවකට මා තුළ නොපැවතිණි. එහෙත් මාගේ ජීවිතයේ මෙන්ම අධ්‍යාපනයේ ගමන් මඟද වෙනස් කළේ එතුමන් බව පාඨක ඔබට පවසන්නේ ඒ අතීතය මිහිරියාවකින් සිහිකරමිනි. එයට සවන්දීමට තරම් පාඨක ඔබ කාරුණිත වේ යැයි සිතමි.
කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් මම එකල උසස් පෙළ හදාරමින් සිටියෙමි. භෞතික විද්‍යා විෂය සඳහා සෙනසුරාදා හවස නගර ශාලාව අසල බෞද්ධ කාන්තා විද්‍යාලයේ පැවැත්වූ භෞතික විද්‍යාපන්තියකට මම සහභාගි වීමි. ආනන්ද බාලිකා විද්‍යාලයේ නේවාසිකාගාරයේ සිට ඒ පන්තියට පැමිණි තරුණියක කෙරේ මගේ හිත ඇදී ගොස් තිබිණි. ප්‍රේමය වචනයෙන් ප්‍රකාශ කිරීමට ආත්ම ශක්තියක් නොමැතිව සිටි මම ඇයට ලිපියක් දෙන්නට ගොස් මහත් ලැජ්ජාවකට පත් වුණෙමි. අම්බලන්තොට වැනි ඈත දුර සිට කොළඹ පැමිණ සිටි ඇයට ඒ වන විට පෙම්වතකු සිටින බවක් මම දැන නොසිටියෙමි. දැඩිසේ චිත්ත පීඩාවට පත් මම පාසලේ පන්තිවලට සහභාගි නොවී පුස්තකාලයට රිංගා කල් ගතකිරීමට පුරුදු වුණෙමි. විද්‍යාලයට ඇතුළු වී වසර පහක් යනතුරු පුස්තකාලයට පා නොතැබූ මා පොත් අල්මාරියකින් පළමු වරට ඇදගත්තේ කවි පොතකි. ඒ මහගමසේකරයන්ගේ “සක්වාලිහිණි” නැමැති කවි පොතයි. එහි තිබූ එක කවියක් මම කොළයක ලියා සාක්කුවේ දමා ගතිමි. ඒ එවකට මා විඳි චිත්ත පීඩාව නිසා විය යුතුය.
අරුණෝදයේ ළා හිරු රැස් මත නටන
පිණි බිඳුවක් ලෙසින් ඔබ මට මුණ ගැසිණ
සැඩ හිරු රැසින් මිරිකෙන්නට පෙර නිවෙන
පිණි බිඳුවක් ලෙසින් ඔබ අහසට නැඟිණ”
එතැන් සිට මා ඔහු ගේ පොත් සොය සොයා කියවූ අතර අවසානයේ මම විද්‍යා අංශය අතහැර කලා අංශයෙන් විභාගයට පෙනී සිටියෙමි. එසේම මගේ පසුකාලීන නිර්මාණ ජීවිතයට ද දැඩිව ලැබුණේ මහගම සේකරයන් ආභාසයයි. අව්‍යාජ ලෙස හැඟීම් පළකිරීමට සේකර දැක්වූ කුසලතාව “මගේ පුංචි රෝස මලේ’ වැනි පද රචනාවක් සඳහා දැඩිව මට බලපෑ බව ප්‍රකාශ කළ යුතුය. කවදාවත් දැක නැති සේකර මගේ ජීවිතය වෙනස් කළේ ඒ ආකාරයෙනි.
”මා මළ පසු” නැමැති ගීතය හැත්තෑව දශකයේ දී රසිකයන් අතර අතිශයින් ජනපි‍්‍රය ගීතයක් බවට පත්වෙයි. මා අසා ඇති පරිදි මේ ඔහු ජීවිතයේ අවසානයට ලියූ පදමාලාවයි. තම රසිකයන් වෙත ඔහු කළ මේ අවසාන ආයාචනය එක් අතකින් දෛවෝපගතය. තම රසිකයන්ගෙන් හරිහම්බ කිරීමට තැක් නොකළ සේකරයන් මේ නිර්මාණය මඟින් ඉල්ලා සිටින්නේ කුමක්ද? එය සොයා බැලීමෙන් මහගමසේකර නම් වූ අව්‍යාජ කලාකරුවා තවදුරටත් හඳුනාගත හැකිවනු ඇත. මරණය පිළිබඳව මහගම සේකරයන්ගේ නිර්මාණයන්හි දැකිය හැක්කේ නැවුම් දැක්මකි. විටෙක මරණයට අභියෝග කරන ඔහු තවත් විටෙක මරණයේ සෞන්දර්ය දකී.
මන්ද ඔතන හැංගී උඹ කරන්නේ
අන්දකාර සලු පොරවා වැනෙන්නේ
නින්ද නැතිව මං පැදුරේ දපන්නේ
නින්ද සදාකාලික කොට දියන්නේ
(ව්‍යංගා)
එසේම “නොමියෙමි” නැමැති කාව්‍ය ග්‍රන්ථය තුළ ඔහු මරණය දකින්නේ සුන්දර යුවතියක ලෙසයි.
”පතුළ සිඹින වසින වරළ
ගන මේ කුළු හිසිනී
දෙතන දෙකඳු මැද ඇලි ඇලි
ගලන දුහුල රමණී
නිලන නිලඹ සිහිලඹ පිරි
නයන පොකුණු සොබනී
සසර කතර ගිම් සනහන
කෙම් බිම ඔබ මරණී”
නොමියමි)
මරණය තමා කරා ඉක්මනින් පැමිණේවිය, වැනි හැඟීමක් සේකර තුළ නිරන්තරයෙන් තිබුණා විය යුතුය. ඒ නිසා තමාගේ නිර්මාණ පි‍්‍රයකළ රසිකයන් ගෙන් ඔහු ඉල්ලා සිටින්නේ ඉක්මනින් මරු තුරුළට යන තමා ගැන දුක් ගීයක් සොහොන්කොතේ ලියා තබන ලෙසයි. ඔහුට අවශ්‍යවී ඇත්තේ, කිත් යසස් මිල මුදල් නොව රසිකයන්ගේ ආදරය පමණයි.
”මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එනකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි”
සේකරයන් මේ බලාපොරොත්තු වන්නේ යෞවනියකගේ ප්‍රේමය නොව රසිකයන්ගේ ප්‍රේමයයි. “නන්නාදුනනා ඔබ” යන්නෙන් අදහස් කරන්නේ කවරදාවත් ඔහු දැක නැති ඔහුගේ රසික පිරිසයි.
’නන්නාඳුන නා ඔබගේ
අත් අකුරින් ලියණු මැනවි’
මේ මහා කවියා ගේ හදවත රසිකයන් ගේ ආදරය බලාපොරොත්තු වූ බව මේ තුළින් සංකේතවත් වේ. දුකෙන්ම පෝෂිත වූ ඔහුගේ කවිත්වය පෙරළා බලාපොරොත්තු වන්නේ ද දුකයි. මරණයෙන් පසුද තම ආදරණීය රසික රසිකාවියන්ගේ දුක වැලඳ ගැනීම මඟින් සේකරයන් තුළ පැවති දයාබරත්වය දැනුවත් වේ. යුරෝපීය රොමැන්ටික් සාහිත්‍යයද, සම්භාවනීය පැරණි සාහිත්‍යද සිංහල ජනකවියද සේකරයන්ගේ කාව්‍යමය භාෂාව තුළ රඳා පවතින අතර අවැසි විටක ව්‍යවහාරික බස් වහරින් ද සේකර රසික හදවත් ස්පර්ශ කරයි.
අඩ සද බැස ගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඩ සඳ බැසගෙන යන සඳ
රූහි හඬන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවි
සේකරයන් විසින් මවනු ලබන්නේ පාළු ශෝකී පරිසරයකි. මේ මහා විශ්වයේම පවතින්නේ පාළු ශෝකී බව ඔහු වචන කීපයකින් මවාලනු ලබයි. කටුක යථාර්ථය ඉක්මවා යන මෝහනීය සෞන්දර්යයක් සේකරයන්ගේ ආත්මය පුරා ගැබ් වී තිබූ බව මෙහිදී පැහැදිලි වෙයි. අවසන් හුස්ම හෙළීමෙන් පසුද ඒ මෝහනීය සෞන්දර්යයේ ජීවත්වීමට ඔහු ඇලුම් කළ බව මෙහිදී පසක් වෙයි. තවදුරටත් ජීවත්වන උන්ගේ ශෝකය වුවද බෙදා හදා ගැනීමට තම මියගිය ආත්මය සූදානම් බව මේ මඟින් දැනුවත් වෙයි.
මේ ගේය පද වලට සංගීතමය අරුත සපයන්නේ පණ්ඩිත් අමරදේවයන්ය. හැටේ දශකයේ පමණක් නොව හැත්තෑව දශකයේ අඩක් ද මහගම සේකර අමරදේව සුසංයෝගය තුළින් පිරී පැවතිණි. සේකර වචනයෙන් මවන පරිසරය අමරදේවයෝ සංගීතය හා සුගායනය ඔස්සේ අප වෙත ගෙන එති. එහෙත් සෙහොන් කොතේ එක් ගීයක් ලිවීමෙන් සේකර නොමැති දුක තුනීකරගත නොහැකිය. ඔහු වරෙක මෙසේ ලීවේය.
”මගෙ කවියෙන් මා නොසොයන්”
එහෙත් සේකරයාණනි. අපි ඔබේ කවියෙන් ගීයෙන් ඔබ සොයාගත්තෙමු. ඔබව සොයා නොගත්තේ නම් අප ඔබව අපේ හදවතට ඇතුළු කරගන්නේ කෙසේද? ආදරණීය සේකර... අපි ඔබේ සොහොන් කොතේ දුක් ගී නොලියමු. මන්ද ඔබ මිය නොඟිය බැවිනි. ජීවිතයේ අප්‍රමාණ දුක් වලදා ඒ දුකට මිහිරක් එක්කළ ඔබේ සෑම අකුරක් ම අප අපේ හදවතේ ගැඹුරුම තැන සඟවා ගන්නේ අන් කිසිවක් නිසා නොව, අප මිය ගිය පසු යළි යළිත් අපට ඇසෙනු පිණිසය.

සටහන-ධම්මික බණ්ඩාර

Wednesday 30 January 2013

සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී....


සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී 
තුඩින් හදවතක් අරගෙන 
ගිනිගත් තල් අරඹට 
ආවාදෝ ඉගිල්ලී............... 

දිව නුහුරු බසින් පෙම් කවි කී 
කුරුල්ලාට වසී වී 
ගිනි මලින් තැනූ මල් පොකුරක් 
අතට ගත්ත මනාලී 
මධු සමේ මධුර කටු අතරේ 
පිපී වැනුණ සුරෑපී 

ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ 
විගඟ සෙනග හඩාවී 
ඒ කඳුළු සිංහලට නගන්න 
නුඹට හැකිය ප්‍රියාවී 
ආදරය නුඹට බාරයි 
රැක ගනින් දේවතාවී.... 

මේ සමීප ගීතයේ යට ගියාව ගැන වැඩි දෙනෙක් නොදන්න කතාන්දරය තමයි මේ කියන්න යන්නෙ. 


1980 දශකයේ ගොඩාක් ජනප්‍රිය වුන සඟරාවක් තමයි " දයාසේන ගුණසිංහ " මහත්මයාගේ , " සිව්දෙස සඟරාව ". 80 දශකයේ අග භාගයේ එක්තරා දවසක උදෑසන සිව්දෙස සඟරාව කියවමින් සිටි විශාරද ගුණදාස කපුගේ අපේ ආදරණීය ගායන ශිල්පියාණන් පිටු අතර තියෙන අපූරු කතාවක් දකිනවා . ඒ කතාව දැකපු ගමන් ම කපුගේ ශිල්පියාට සිහියට නැගෙන්නේ කළණ මිතුරු රත්න ශ්‍රී විජේසිංහ ව . ඒ වෙලාවෙම තමන්ගේ මිත්‍රයට දුරකතනයෙන් කථා කළ කපුගේ මහත්මයා " සිව්දෙස ' සගරාවේ තියෙන මේ ප්‍රවෘත්තිය බලන්නැයි කියනවා. ඒ පුවත මෙන්න මේකයි , 

මාතර කඹුරුපිටිය කියන ගමේ මධ්‍යම පාන්තික පවුලකට දාව උපදිනවා දියණියක්. ඇය නමින් ~ විනීතා සමරසිංහ ~ ඇය තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු නිම කළ පසු පොලිස් කාන්තාවක් ලෙසින් සේවයට බැඳෙනවා. ගම කඹුරුපිටියෙ වුනත් රැකියාව කරන්න සිදුවෙන්නේ කිරුළපන පොලීසියට අනුයුක්තව . මේ කාලෙදිම පොලිස් සේවයට බැදුණ උතුරුකරේ දමිළ තරුණයෙකුත් කිරුළපන පොලිස් ස්ථානයට පැමිණෙනවා. ඔහුට සිංහල භාෂාව හසුරුවන්න අසීරුයි .ඒ වගේමයි ඇයට දමිළ බස හසුරුවන්නත් අසීරුයි. නමුත් තරුණ හදවත් වල ආදරයට ඒක බාදාවන් නොවන වග මේ දෙන්න ඔප්පු කරනවා .දවසින් දවස මේ දෙදෙනාම ප්‍රේමය මතින් ඔවුන් දෙදෙනාටම උරුම වුණු අලුත් ලොවක් තනා ගැන්මට උත්සුක වෙනවා. 
නමුත් එවකට රටේ උද්ගතවෙලා තිබුණ මහා වාර්ගික ගැටළුව හේතුවෙන් මේ ආදර කතාවට විනීතාගේ නිවසින් කිසිදු ආකාරයකින්වත් සහයෝගයක් නොලැබී යනවා. නමුත් විනීතගේත් නඩේෂන්ගේත් නෑදෑ සනුහරයම විරුද්ධ වෙද්දී කාටත් හොරා දෙන්නම යුග දිවියට එළඹුනා. යුගදිවි සිරි මැදින්ම ඔවුන් ඔවුන්ට උරුම වුණ සුන්දර ලොවක් හොයා ගෙන නඩේෂන්ගේ ගම් පළාත වුණ උතුරුකරයට පියමැන්නා. ඒත් ඒ වෙනකොට ජාතිවාදී ගිනිසිළුවෙන් උතුරුකරයේ ගිනි ඇවිලෙමිනුයි තිබුණේ. එදා නව යුවතිපතීන් ලෙසින් උතුරුකරයට ගිය ඔවුන් එල් . ටී . ටි. ඊ . යදමේ පුරුක් බවට පත්වුනා . 
අවසන නඩේෂන් එල්. ටී . ටී . ඊ . සංවිධානයේ පොලිස් අංශයේ නායකයා බවටත් විනීතා සමරසිංහ එම සංවිධානයේම ප්‍රබල කොටි සාමාජිකාවක් බවටත් පත් විය. එදා සිදු වූ මේ සිදුවිම මුල් කරගනිමින් රත්න ශ්‍රී විජේසිංහ නම් වූ අසහාය ගේය පද රචකයා අතින් ලියවුනා වූ මේ සොඳුරු ගීතය අසන්නට අද දිනයේ නඩේෂන්වත්.... විනීතාවත් .... අපි අතරේ නොමැත. වියරු වැටුණා වූ බල ලෝභී සමාජය මැද ජාතිය පාවා දී සටන් වැද අවසන අද ඔවුන් දෙදෙනාම මිහිදන් වී ගොසිනි. ඔවුන්ගේ ගෙවුණු ජීවිතය ගැන ඔබ කුමන නිර්වචන කළත් ඔවුන් දෙදෙනා අතර හටගත් ඒ ප්‍රේමවෘතාන්තයෙන් ඇරඹි මහා කතාවක උත්තුංග සංක්ෂිප්තය මෙලෙසින් අපේ ගේය ලෝකය සදානන්දනීය කරනු ඇත. 

Sunday 30 September 2012

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්...


පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් 
නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත්
ආදරෙන්...

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා

නුහුරු නුපුරුදු හීන අරන්
ළඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇඳුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා
ඇසිල්ලක දුටු හීනේ හිත හුඟක් රිදුණා
අරුත නොදකින සෙනෙහේ ඔය නමට රැඳුණා

කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට පිවිසෙන තැන බිත්තියෙහ රඳවා තිබූ ‘සිත් කවිය’ ළඟ දහසකුත් දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙන ගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැන විශ්වවිලද්‍යාලයේ නොදන්න කෙනෙක් නැහැ.

ඒ තරමටම මෙය ජනප්‍රියයි. මේ ‘සිත් කවිය’ අද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක් හිටියා. එම පීඨයේම ඉගෙන ගන්නා ඇය, උතුරු කොනේ (ගුණදාස කපුගේ) ඇතුළු ගීත රැසක් රචනා කළ චන්ද්‍රා වාකිෂ්ඨයන්ගේ දියණිය. රචිතා, සිත් කවියේ අදහස් කියෙවේ බොහොම ආසාවෙන්. ඒ ඇය කවියට, ගීතයට බොහෝ සෙයින් ප්‍රේම කළ හින්දා. සිත් කවියෙහි රචිතාගේ යහළුවකුගේ සිතැඟි විවිධ මාතෘකා යටතේ පළ වුණා. එහෙත් එන්න එන්න ඔහුගේ අදහස් ලියවුණේ යොවුන් ආදරය ගැන විතරයි. ඔහු ප්‍රේමවන්තයෙක් වෙලා. ඔහුගේ සිත් දිනා ගත්තිය විශ්වවිද්‍යාලයෙම ශිෂ්‍යාවක්. ඔවුන් දෙපොළගේ ප්‍රේමය කාලයත් සමඟම තීව්‍ර වුණා. විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය ඇතුළේ වසරේ හොඳම පෙම්වතුන් යුවළ තෝරනවා. මේ අවුරුද්දට තේරුණේ ඔවුන්.

එක්තරා උදෑසනක රචිතා ‘සිත් කවිය’ට සමීප වුණේ පුරුද්දට වගේ. පුදුමයක්! අර පෙම්වතාගේ ආදරණීය අදහස් ඒකේ නැහැ. ඒ වෙනුවට විරහ පද වැල් කිහිපයක් එහි ගෙත්තම් වෙලා. ඒ අකුරු අඬන්න ඔන්න මෙන්න. හේතුව හොයලා බලද්දී පෙම්වතියට හොඳට සල්ලි බාග තියනවා. පෙම්වතා සාමාන්‍ය පවුලක දුප්පත් කෙනෙක්. ගැහැනු ළමයගේ මවුපියන් බලපෑම් එල්ල කරනවලු මේ සම්බන්ධය නවත්වන්න කියලා. කාලයක් මේ දෙන්නා ඈත් වෙලා හිටියා. හදිසියේම පෙම්වතිය නැවතත් පෙම්වතාට කිට්ටු වුණා. ඔහුට මේක හරිම අදහාගත නොහැක්කක්. ඒ කාලයේදීම ඔහු ‘සිත් කවියට’ නිසඳසක් ලියලා. රචිතා ඒක කියෙව්වා.

‘ඔබ මගේ ජීවියට ආයේ ආවා. ඒත් ආයේ යයිද කියලා සැකයි’

මේ ඒ පද ටිකේ අවසානය. එය රචිතාගේ සිතට තදින්ම දැනුණා. විශ්වවිද්‍යාලයට නිවාඩු ලැබුණා. රචිතාගේ හිතමිතුරු නව පරපුරේ සංගීතඥ තිළිණ රුහුණගේගෙන් තනුවකට ගීතයක් ලියන්න නිකමට මෙන් ඇරැයුම් ලැබෙන්නේ මේ කාලේ. ඒ තනුව දෙතුන් සැරයක් ඇසූ ඇයට මතක් වන්නේ අර පෙම්වතුන් යුවල සහ ඉහත සඳහන් කළ කවි පේළිය.

ගීයේ මූලික ටික නිර්මාණය කොට අවසන්. දැන් මේක කාටද දෙන්නේ. ගීතයේ ශෛලියට හුරු වූ ගායකයෙක් ඉන්නවා. ඒ ආත්මා ලියනගේ. ජංගම දුරතනයේ අංක ඔබමින් තිළිණ ආත්මාට ඇමතුමක් ගත්තේ ගීතය ගැන කියන්න.

අපෝ බැහැ මල්ලි. සිංදු කරමු කියලා පහුගිය කාලේ ඔයා වගේ අලුත් අය ගොඩ දෙනෙක් කතා කළා. ඔක්කොමේම තියෙන්නේ එකම ශෛලියක්නේ.

රිසීවරයේ එහා කෙළවරෙන් ආත්මාගෙන් අයහපත් ප්‍රතිචාරයක් ලැබුණා.

එහෙම කියන්න එපා අයියේ. අහලම බලලා සිංදුව ගැන කියන්නකෝ.

තිළිණගේ දැඩි පෙරැත්ත මත ආත්මා ගීය ඇහුවා.

ෂා, මගේ රේන්ජ් එකේමනේ සිංදුව යන්නේ. හරියට මටම හදපු එකක් වගේ.

ආත්මාගේ මුහුණ ඒ අන්දමින් වෙනස් වුණා.

මද්දහනේ හිරු මුදුන් වන යාමයක ආත්මා නාවින්නේ පිහිටා ඇති තිළිණගේ ශබ්දාගාරයට ආවා.

මල්ලි අපි ටක් ගාලා වැඩේ කරමු. මට තව වැඩ කිහිපයකට යන්න තියෙනවා.

ආත්මා මයික්‍රෆෝනය අසලට ගොස් හෙඩ්ෆෝනය හිසේ රුවා ගන්න ගමන් පැවසුවා.

එහෙත් එදා තිබූ කාල වේලාවට පටිගත කළ ගීතයට තිළිණ එතරම් සෑහීමකට පත් වූයේ නැති තරම්.

අයියේ මේ වැඩේ හරි යන්නේ නැහැ. වෙන දවසක රෙකෝඩිං එක කරමු.

තිළිණ පටිගත කළ ගීතය මකා දමමින් කීවා.

තවත් උදෑසනක ආත්මා ආවා. පටිගත කිරීම ඇරැඹියේ උදේ දහයට පමණ. හිතට දැනෙන අවශ්‍ය හැඩතල ආත්මාගෙන් ලබා ගනිමින් ගීතය පටිගත කොට අහවර වන විට රාත්‍රී අටත් පහුවෙලා.

උඹ අද මගේ නියපොත්තේ ඉඳලා ගැලෙව්වා. මාව මරව මරව කොහොම හරි ඕන විදිහටම සිංදුව රෙකෝඩ් කළා නේද?

ආත්මා , තිලිණගේ පිටට තට්ටුවක් දැම්මේ එහෙම කියමින්.

ගීය ගුවන් විදුලියෙන් නිතර ප්‍රචාරය වන්න පටන් ගත්තා. ආත්මාගේ ජංගම දුරකතනයට නිවනක් නැහැ.

අනේ ඔයා අපිව ආයෙමත් පිස්සු වැට්ටුවා.

ආත්මාගේ පැරැණි රසිකාවියන් එහෙම කියූ වාර බොහොමයි. ලියතඹරාගෙන් පසු ආත්මාගේ හොඳම සිංදුව මේක. සමහරෙක් එහෙම කීවා.

විශ්වවිද්‍යාලයේ නිවාඩුව අවසන්. රචිතා කලා පීඨයට ඇතුළුවන මාවත දිගේ ඇවිදගෙන ආවා. විශ්වවිද්‍යාලය පුරා ‘ආයෙමත් ආදරෙන්’ ජනප්‍රිය වෙලා. රචිතාට ඒ වග දැනුණේ කිහිප දෙනෙකුගේම ජංගම දුරකතනය නාද වීම සඳහා එය යොදාගෙන තිබූ නිසා. මේ කතාවේ පෙම්වතුන් යුවළට රචිතා මේ ගීතයේ සත්‍ය කතාව කිව්වා. ඒ අයට හරිම පුදුමයි. මේ සංවේදී ගීතය ඔවුන්ගේ නෑදෑ සනුහරයම අහලා. අලුත්ම ආරංචිය වන්නේ මේ ගීතය ඒ පෙම්වතුන් යුවලට සදහටම එකතු වන්නට ආශිර්වාද කර ඇති බවයි.

Wednesday 26 September 2012

අසුරු සැනින් එක මොහොතක දී...


ප්‍රවීන නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලියේ වැඩ කරන කාලයේ දී ඉතාම ළගම ඇසුරක් තිබුණු කෙල්ලෙක් සහ කොල්ලෙක් ඉදලා තියනවා. හැම දෙනාම හිතා ගෙන ඉදලා තියෙන්නේ මේ දෙන්නා පෙම්වතුන් කියලා.....නමුත් එහෙම දෙයක් තිබිල නෑ.
පස්සේ කාලෙක ආපු යෝජනාවකින් තරුණිය විවාහ වෙනවා. ඒ එක්කම ඇය තීරණය කරණව රැකියාවට සමුදෙන්න.
තුසුම් ආන්ටි ඇර ගෑණු ළමයගෙන ඇහුවාම මේ සම්බන්ධයක් වගේ තිබ්බ දේ ගැන ඇය කිව්වලු මම බලං හිටියේ එයා මගෙන් අහනකං, හේතුව ම ගෑනු ළමයෙක් නිසා මට ෆස්ට් මූව් එක කරන්න බෑ නේද අක්කේ කියලා. ඇත්තටම අර ගෑණු දරුව ඉදලා තියෙන්නේ මේ කොල්ලා ගැන ප්‍රේමයෙන්.
ගෑනු දරුව රැකියාවෙන් ඉවත් වුණ දවසේ කුසුම් ආන්ටි කොල්ලට කියල තියනව, ඇයි අර ළමය ගෙන් ඇහුවෙ නැත්තේ එයා හිතේ තියා ගෙන නේ ඉදලා තියෙන්නේ කියලා, ටිකක් චෝදනා මුඛයෙන්. අර කොල්ලා කිව්වලු අනේ අක්කේ මම ඇහුවෙ නැත්තේ බෑ කිව්ව නම් අපේ මේ මිත්‍රත්වයත් ඉවරනේ, ඇත්තට ම මම එයාට ආදරේ කලා, එයා පොඩ් හරි ඉගියක් දෙනකන් මම හිටියේ, නමුත් එහෙම පෙන්නුවේ නැති නිසා මම අහන්න ගියේ නෑ කියලා.
පසුව දවසක අර ගෑණු දරුව හමු වුණාම කුසුම් ආන්ටි මේ ගැන ඇයට පවසලා තියනවා. ඇය වැළපෙමින් කියල තියෙන දේ තමා මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ. ඇය කිව්වලු, අනේ අක්කේ, ලෝකය නතර වෙලා ආයෙ අපි අතීතයට ගියොත් මම එයාට ආදරේ කරනව කියලා එයාට කියනව කියලා....(Posted by Muditha Ekanayake,සිංහල ගී පද - Sinhala Lyrics)

අසුරු සැනින් එක මොහොතක දී..
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා..
ඔබේම වී මා
මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා..

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා
මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

සෙනෙහෙ විමානේ කිරුල දරන දා
සිඟිති තොලට කිරි හිනා දකින්නට
එක සෙවනක දී හමුවේවා
ඔබේම වී මා
මඟේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

-යමුනා විනෝදනී-

Tuesday 20 September 2011

විදුලි මිණි පහන් දැවී...

විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ..//


එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ..//


දෙන්න කන්න බොන්න කොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා..//


ඔබේ ලෝකයෙන් එහා
මගේ ලොව බලා හිඳී
පළා යමි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී..//


ගී පද - ලූෂන් බුලත්සිංහල

ගුණදාස කපුගේ ලාංකීය කලා කෙතට බිහිවූ නැවත කිසිදාක බිහි නොවන ආකාරයේ සැබෑ මානව හිතවාදී කලාකරුවෙක්.කපුගේ විප්ලවවාදීයෙක් ලෙස හැදින්වුවාට වරදක් නැහැ. ඒ ඔහු පීඩිත පන්තිය වෙනුවෙන්,අයිතිය වෙනුවෙන් වෙනස්ම ආකාරය ගීත ගැයූ ගායකයෙක්.ඇත්තෙන්ම ඔහු වමට බරව තම සංගීතය මෙහෙය වූ සැබෑ මානව හිතවාදී කලකරුවෙක්.ඔහු ගායනා කල ගීත බොහොමයක් එවැනි ගීතයි.සබඳ අපි,අයියන්ඩියේ,විදුලි මිනි පහන් එවැනි ගීතයන්ට හොදම උදාහරන ලෙස හැදින්විය හැක.

ඔහු මිනිසුන් වෙනුවෙන් ගායනා කල සැබෑම මිනිසෙක්.ලූෂන් බුලත්සිංහලයන් අතින් ලියවුනු මේ ගීතයත් එවැනි ගීතයක්.පීඩිත පන්තියත් ධනපති පන්තියත් අතර ඇති දුරස්බව මැනවින් පැහැදිලි වන මෙම ගීතය ඔහු විසින් ගායනා කල විශිෂ්ඨ ගීතයක් වන්නේ ඒ නිසාවෙනි.

පීඩිත පන්තිය සහ ධනපති පන්තිය අතර ඇති පරස්පර භාවය මුල් කරගෙනයි මෙම ගීතය රචනා වෙන්නේ.ඇත්තෙන්ම වර්ථමානයේදී අහිංසක දිලිඳු පවුලකට එක වේලක් සොයාගන්න,තම දරුවන්ගේ කුස පුරවන්න අහරක් නැතිව අසරණ වෙත්දී ධනපති පන්තියේ මහා ධනපතියෝ එක් රැයකින් දහස් ගනන් වලින් සාද පවත්වා මුදල් නාස්ති කරන රටකයි අපි ජීවත් වෙන්නේ.අහිංසක් දිළිඳු දරුවෙකුගේ කුසට එක වේලක් නැති රටකයි ධනවත් මව් පියෝ තම දරුවන්ගේ උපන්දින සාද සදහා මිලියන ගනන් වියදම් කරන්නේ.මේ ක්‍රමය වෙනස් විය යුතුයි.නමුත් වෙනස් නොවන එකයි ඇත්ත.වර්ථමානයට හොදටම ගැලපෙන මෙම ගීතයෙත් ඇත්තේ එම පීඩිත පන්තිය සහ ධනවත් පන්තිය අතර ඇති පරස්පර භාවයයි.

ගීත රචකයා මේ පරස්පර භාවය මැනවින් පැහැදිලි කරන්න ආදරය කියන බැදීම මුල් කරගෙන තමයි මේ ගීතයය රචනා කොට තිබෙන්නේ.

ධනපති පන්තියට අයත් යමක් කමක් ඇති නාගරික පවුලක තරුණියක් සහ දුප්පත් ගමක තරුණයෙක් විවාහාවෙලා එම තරුණයා මුහුණ දෙන අත්දැකීමක් තමයි ගීතයේ කියවෙන්නේ.ආදරය නිසා විවහ වූ නමුත් එම පවුළ් පරිසරය ඔහුට ගැලැපෙන්නේ නැහැ.ඔහු එම සමාජයට ගැලපෙන්නේ නැහැ. ඇය ඇයගේ මිතුරු මිතුරියන් පිරිවරාගෙන නිවසේ සාදපවත්වමින් විනෝද වෙත්දී පුර්ෂයෙකු ලෙස ඔහුගේ පවුලේ ආධිපත්‍ය අහිමි වෙනවා.මේ පරිසරය තුල ඔහුට කිසිම බලයක් නොමැති අයෙක් බවට පත්වෙනවා.

''කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ''  වැනි යෙදුම් වලින් ඒ බව මනාව පැහැදිලි වෙනවා.

''විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ...''

නේක වර්ණ විදුලි බුබුලු මැද,බොළඳ ගී මැද අදුරු මුල්ලක සිරවී සිටින මම ඔබේ මන්දිරේ කුරා කුහුඹුවෙක් තරම් කුඩාය.

''එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ''

ඇය හැමටම කථාබස් කරමින් විනෝද වෙත්දී ඇයට ඔහු මතක නැහැ.ඇගේ හඬ ඔහුට ඈතින් ඇසෙනවා.

''ඔබේ ලෝකයෙන් එහා
මගේ ලොව බලා හිඳී
පළා යමි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී.''

ඔබේ මේ ලෝකයෙන් එහා මගේ ලොව බලාසිටිනවා.මම ඔබේ ලොවෙන් පලා යන්න යනවා මගේ ලෝකය සොයා.

Tuesday 6 September 2011

මගේ පුංචි රෝස මලේ...

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා...


කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්...
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න...
තරහක් නැහැ නුඹ බැස යන්න...


මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනවනම්...
ආසයි මං කවුළු පියන්
ඇරලා තියන්න...
තරහක් නැහැ නෑවිත් ඉන්න...


ගී පද - ධම්මික බණ්ඩාර

ලාංකීය සංගීත අඹරේ රන් තරුවක් ලෙස හැදින්වෙන අමරසිරි පීරිස් නම් විශිෂ්ඨ කාලාකරුවාගේ වගේම මාගේ ප්‍රියතම ගායකයාගේ ගීතයකින් ආරම්භයට මුලපුරන්න මට හිතුනා.
ඇත්තෙන්ම ඔහු ඉතා දක්ෂ මෙන්ම පරිපූර්ණ ගායකයෙක් වන්නේ ඔහු විසින් ගායනා කරන ලද මේ ගීත සමුදාය නිසයි.ගැඹුරු කට හඩ මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව අතින් ඔහුගේ ගීතවලට සමකල හැකි වෙනත් නිර්මාණ නැති තරම්.මගෙ හද බොහොම ස්පර්ෂ කරපු වගේම මාව ගොඩක් සංවේදී කරපු ගායකයෙක් තමයි අමරසිරි පීරිස් නම් සුන්දර කලාකරුවා.ඔහුගේ ගීත අතරින් වඩාත්ම සංවේදී ගීතය තමයි මේ ගීතය.ඒ වාගේම මගේ ප්‍රියතම ගීතයත්,මා වඩා සංවේදී කරනු ලැබූ ගීතය මේ ''මගේ පුංචි රෝස මලේ'' ගීතයයි.ඒ එම ගීතය සමග මටත් ඇති සම්බන්ධයක් නිසාවෙන්.
ධම්මික බණ්ඩාර නම් ගීත රචකයා අතින් ලියවුනු සැබෑ අත්දැකීමක් තමයි අමරසිරි පීරිස් ගේ කටහඩින ගීතයක් බවට පරිවර්තනය උනේ.මේ ගීතය සැබෑ අත්දකීමක් ඇසුරින් ලියවුනු ගීතයක්

ගීතයේ කථාව මෙසේයි.
ආදරය වයස් භේදයක නොමැතිව හැමදෙනාටම දැනෙන හැගීමක්.ඒකට වයස් භේදයක් නැහැ.මේ ගීතයත් එයට හොදම උදාහරනයක්.ලංකාවෙ තවත් එක් වැඩිහිටි ගායකයෙකුට උනු සැබෑ සිද්ධියක් තමයි මේ රචනාවෙලා තියෙන්නේ.

මේ ගායකයා කළුතර ප්‍රදේශයේ සංගීත පන්තියක් කරගෙන ගියා.ඔහුගේ පන්තියට ආවා වයලින් ඉගෙන ගන්න තරුණ ගැනැණු ළමයෙක්.ඔහුට ඇය පිළිඹද පුදුමාකාර ආදරයක් ඇති උනා.මේ පුංචි කෙල්ල පන්ති නොපැමිනෙන දිනවලා ඔහුට පන්තිය කරන්නවත් හිතුනෙ නැහැ.ඒ තරම් ඔහුගේ හිත් අර පුංචි කෙල්ලට බැදිලයි තිබුනේ.ඔහු පන්තිය කරන අතර තුර කවුළුවෙන් මග බලා සිටිනවා ඇය එයි කියා.
ධම්මික එක් දිනක් මේ ගායකයා හමුවන්න යනවා ගීතයකට තනුවක් නිර්මාණය කරගන්න.නමුත් ඔහු නිවසේ සිටියේ නැහැ.පසුව ඔහු අවන්හලක බලන අවස්ථාවේදී මේ ගායකයා එම අවන්හලේ හොදටම බොනවා.ධම්මික් දුටු සැනිනි මේ වැඩිහිටි ගායකයා හඩාවැටුනා.''මචං අර කෙල්ල කසාද බදිනවා,බුලත් අතක් දීලා මට වැදලා ගියා'' මේ ගායකයා හඩා වැටෙමින් කිව්වා.

ආදරයේ වියෝව වයස් භේදයක් නැතුව දැනෙන හැගීමක්.පෙම්වතිය අහිමි වූ පෙම්වතෙක් විදින ඒ වේදනාවයි ''මගේ පුංචි රෝස මලේ'' ගීතයේ ලියවුනේ.ධම්මිකගේ පදරචනය අමරසිරි පීරිස්ගේ කටහඩින් ගීතයක් බවට පත් වුනේ එසේයි.

ආදරයට හරස් උනේ වයසයි.ඔහු වයසින් වැඩිහිටියෙක් ඇය ලාබාල තරුණියක්.ආදරයට වයස බලපාන්නේ නැහැ.නමුත් අසම්මතයැයි සිතූනමුත් තහංචි දැමිය නොහැකි හැගීමක්.

''මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා...''


හිතේ ඇති ආදරේ කියාගන්න හැකියාව නැති උනත් ආසයි ඒ දේ කියන්නට.ඇය ආදරේ තේරුම් නොගත්තත් ඇය සමග තරහක් නැහැ.

''කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්...
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න...
තරහක් නැහැ නුඹ බැස යන්න...''


ඇය ඔහු ලගට එනවනම් ඔහු කැමතියි.නමුත් නාවා කියලා ඇය සමග තරහ වෙන්නෙත් නැහැ.

''මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනවනම්...
ආසයි මං කවුළු පියන්
ඇරලා තියන්න...
තරහක් නැහැ නෑවිත් ඉන්න...''


මෙලෙස සැබෑ අත්දැකීමක් ගීතයක් බවට පත්වුනා.අවසාන වශයෙන් කිවහැකි දෙයනම් ආදරයට වයස් භේදයක් නොමැති බවයි.

ඇරඹුම...

සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් හැමදෙනාටම රසවිදිය හැකි.ගීතය යනු හදවතට දැනෙන අදහසක් සංගීතවත් කිරිමක්.ගීතයකට පුලුවන් කෙනෙක් හිනස්සන්න වගේම හදවතක් හඩවන්නත්.එවැනි හදවතට දැනුනු ගීත සමුදායක් අතුරින් දෝතක් මේ...

''එන්න මා සමග හිතට දනුනු ගීතයක් හදවතින් කියවන්න.''