Tuesday 20 September 2011

විදුලි මිණි පහන් දැවී...

විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ..//


එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ..//


දෙන්න කන්න බොන්න කොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා..//


ඔබේ ලෝකයෙන් එහා
මගේ ලොව බලා හිඳී
පළා යමි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී..//


ගී පද - ලූෂන් බුලත්සිංහල

ගුණදාස කපුගේ ලාංකීය කලා කෙතට බිහිවූ නැවත කිසිදාක බිහි නොවන ආකාරයේ සැබෑ මානව හිතවාදී කලාකරුවෙක්.කපුගේ විප්ලවවාදීයෙක් ලෙස හැදින්වුවාට වරදක් නැහැ. ඒ ඔහු පීඩිත පන්තිය වෙනුවෙන්,අයිතිය වෙනුවෙන් වෙනස්ම ආකාරය ගීත ගැයූ ගායකයෙක්.ඇත්තෙන්ම ඔහු වමට බරව තම සංගීතය මෙහෙය වූ සැබෑ මානව හිතවාදී කලකරුවෙක්.ඔහු ගායනා කල ගීත බොහොමයක් එවැනි ගීතයි.සබඳ අපි,අයියන්ඩියේ,විදුලි මිනි පහන් එවැනි ගීතයන්ට හොදම උදාහරන ලෙස හැදින්විය හැක.

ඔහු මිනිසුන් වෙනුවෙන් ගායනා කල සැබෑම මිනිසෙක්.ලූෂන් බුලත්සිංහලයන් අතින් ලියවුනු මේ ගීතයත් එවැනි ගීතයක්.පීඩිත පන්තියත් ධනපති පන්තියත් අතර ඇති දුරස්බව මැනවින් පැහැදිලි වන මෙම ගීතය ඔහු විසින් ගායනා කල විශිෂ්ඨ ගීතයක් වන්නේ ඒ නිසාවෙනි.

පීඩිත පන්තිය සහ ධනපති පන්තිය අතර ඇති පරස්පර භාවය මුල් කරගෙනයි මෙම ගීතය රචනා වෙන්නේ.ඇත්තෙන්ම වර්ථමානයේදී අහිංසක දිලිඳු පවුලකට එක වේලක් සොයාගන්න,තම දරුවන්ගේ කුස පුරවන්න අහරක් නැතිව අසරණ වෙත්දී ධනපති පන්තියේ මහා ධනපතියෝ එක් රැයකින් දහස් ගනන් වලින් සාද පවත්වා මුදල් නාස්ති කරන රටකයි අපි ජීවත් වෙන්නේ.අහිංසක් දිළිඳු දරුවෙකුගේ කුසට එක වේලක් නැති රටකයි ධනවත් මව් පියෝ තම දරුවන්ගේ උපන්දින සාද සදහා මිලියන ගනන් වියදම් කරන්නේ.මේ ක්‍රමය වෙනස් විය යුතුයි.නමුත් වෙනස් නොවන එකයි ඇත්ත.වර්ථමානයට හොදටම ගැලපෙන මෙම ගීතයෙත් ඇත්තේ එම පීඩිත පන්තිය සහ ධනවත් පන්තිය අතර ඇති පරස්පර භාවයයි.

ගීත රචකයා මේ පරස්පර භාවය මැනවින් පැහැදිලි කරන්න ආදරය කියන බැදීම මුල් කරගෙන තමයි මේ ගීතයය රචනා කොට තිබෙන්නේ.

ධනපති පන්තියට අයත් යමක් කමක් ඇති නාගරික පවුලක තරුණියක් සහ දුප්පත් ගමක තරුණයෙක් විවාහාවෙලා එම තරුණයා මුහුණ දෙන අත්දැකීමක් තමයි ගීතයේ කියවෙන්නේ.ආදරය නිසා විවහ වූ නමුත් එම පවුළ් පරිසරය ඔහුට ගැලැපෙන්නේ නැහැ.ඔහු එම සමාජයට ගැලපෙන්නේ නැහැ. ඇය ඇයගේ මිතුරු මිතුරියන් පිරිවරාගෙන නිවසේ සාදපවත්වමින් විනෝද වෙත්දී පුර්ෂයෙකු ලෙස ඔහුගේ පවුලේ ආධිපත්‍ය අහිමි වෙනවා.මේ පරිසරය තුල ඔහුට කිසිම බලයක් නොමැති අයෙක් බවට පත්වෙනවා.

''කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ''  වැනි යෙදුම් වලින් ඒ බව මනාව පැහැදිලි වෙනවා.

''විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැළී
නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ...''

නේක වර්ණ විදුලි බුබුලු මැද,බොළඳ ගී මැද අදුරු මුල්ලක සිරවී සිටින මම ඔබේ මන්දිරේ කුරා කුහුඹුවෙක් තරම් කුඩාය.

''එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ''

ඇය හැමටම කථාබස් කරමින් විනෝද වෙත්දී ඇයට ඔහු මතක නැහැ.ඇගේ හඬ ඔහුට ඈතින් ඇසෙනවා.

''ඔබේ ලෝකයෙන් එහා
මගේ ලොව බලා හිඳී
පළා යමි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී.''

ඔබේ මේ ලෝකයෙන් එහා මගේ ලොව බලාසිටිනවා.මම ඔබේ ලොවෙන් පලා යන්න යනවා මගේ ලෝකය සොයා.

Tuesday 6 September 2011

මගේ පුංචි රෝස මලේ...

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා...


කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්...
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න...
තරහක් නැහැ නුඹ බැස යන්න...


මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනවනම්...
ආසයි මං කවුළු පියන්
ඇරලා තියන්න...
තරහක් නැහැ නෑවිත් ඉන්න...


ගී පද - ධම්මික බණ්ඩාර

ලාංකීය සංගීත අඹරේ රන් තරුවක් ලෙස හැදින්වෙන අමරසිරි පීරිස් නම් විශිෂ්ඨ කාලාකරුවාගේ වගේම මාගේ ප්‍රියතම ගායකයාගේ ගීතයකින් ආරම්භයට මුලපුරන්න මට හිතුනා.
ඇත්තෙන්ම ඔහු ඉතා දක්ෂ මෙන්ම පරිපූර්ණ ගායකයෙක් වන්නේ ඔහු විසින් ගායනා කරන ලද මේ ගීත සමුදාය නිසයි.ගැඹුරු කට හඩ මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව අතින් ඔහුගේ ගීතවලට සමකල හැකි වෙනත් නිර්මාණ නැති තරම්.මගෙ හද බොහොම ස්පර්ෂ කරපු වගේම මාව ගොඩක් සංවේදී කරපු ගායකයෙක් තමයි අමරසිරි පීරිස් නම් සුන්දර කලාකරුවා.ඔහුගේ ගීත අතරින් වඩාත්ම සංවේදී ගීතය තමයි මේ ගීතය.ඒ වාගේම මගේ ප්‍රියතම ගීතයත්,මා වඩා සංවේදී කරනු ලැබූ ගීතය මේ ''මගේ පුංචි රෝස මලේ'' ගීතයයි.ඒ එම ගීතය සමග මටත් ඇති සම්බන්ධයක් නිසාවෙන්.
ධම්මික බණ්ඩාර නම් ගීත රචකයා අතින් ලියවුනු සැබෑ අත්දැකීමක් තමයි අමරසිරි පීරිස් ගේ කටහඩින ගීතයක් බවට පරිවර්තනය උනේ.මේ ගීතය සැබෑ අත්දකීමක් ඇසුරින් ලියවුනු ගීතයක්

ගීතයේ කථාව මෙසේයි.
ආදරය වයස් භේදයක නොමැතිව හැමදෙනාටම දැනෙන හැගීමක්.ඒකට වයස් භේදයක් නැහැ.මේ ගීතයත් එයට හොදම උදාහරනයක්.ලංකාවෙ තවත් එක් වැඩිහිටි ගායකයෙකුට උනු සැබෑ සිද්ධියක් තමයි මේ රචනාවෙලා තියෙන්නේ.

මේ ගායකයා කළුතර ප්‍රදේශයේ සංගීත පන්තියක් කරගෙන ගියා.ඔහුගේ පන්තියට ආවා වයලින් ඉගෙන ගන්න තරුණ ගැනැණු ළමයෙක්.ඔහුට ඇය පිළිඹද පුදුමාකාර ආදරයක් ඇති උනා.මේ පුංචි කෙල්ල පන්ති නොපැමිනෙන දිනවලා ඔහුට පන්තිය කරන්නවත් හිතුනෙ නැහැ.ඒ තරම් ඔහුගේ හිත් අර පුංචි කෙල්ලට බැදිලයි තිබුනේ.ඔහු පන්තිය කරන අතර තුර කවුළුවෙන් මග බලා සිටිනවා ඇය එයි කියා.
ධම්මික එක් දිනක් මේ ගායකයා හමුවන්න යනවා ගීතයකට තනුවක් නිර්මාණය කරගන්න.නමුත් ඔහු නිවසේ සිටියේ නැහැ.පසුව ඔහු අවන්හලක බලන අවස්ථාවේදී මේ ගායකයා එම අවන්හලේ හොදටම බොනවා.ධම්මික් දුටු සැනිනි මේ වැඩිහිටි ගායකයා හඩාවැටුනා.''මචං අර කෙල්ල කසාද බදිනවා,බුලත් අතක් දීලා මට වැදලා ගියා'' මේ ගායකයා හඩා වැටෙමින් කිව්වා.

ආදරයේ වියෝව වයස් භේදයක් නැතුව දැනෙන හැගීමක්.පෙම්වතිය අහිමි වූ පෙම්වතෙක් විදින ඒ වේදනාවයි ''මගේ පුංචි රෝස මලේ'' ගීතයේ ලියවුනේ.ධම්මිකගේ පදරචනය අමරසිරි පීරිස්ගේ කටහඩින් ගීතයක් බවට පත් වුනේ එසේයි.

ආදරයට හරස් උනේ වයසයි.ඔහු වයසින් වැඩිහිටියෙක් ඇය ලාබාල තරුණියක්.ආදරයට වයස බලපාන්නේ නැහැ.නමුත් අසම්මතයැයි සිතූනමුත් තහංචි දැමිය නොහැකි හැගීමක්.

''මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා...''


හිතේ ඇති ආදරේ කියාගන්න හැකියාව නැති උනත් ආසයි ඒ දේ කියන්නට.ඇය ආදරේ තේරුම් නොගත්තත් ඇය සමග තරහක් නැහැ.

''කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්...
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න...
තරහක් නැහැ නුඹ බැස යන්න...''


ඇය ඔහු ලගට එනවනම් ඔහු කැමතියි.නමුත් නාවා කියලා ඇය සමග තරහ වෙන්නෙත් නැහැ.

''මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනවනම්...
ආසයි මං කවුළු පියන්
ඇරලා තියන්න...
තරහක් නැහැ නෑවිත් ඉන්න...''


මෙලෙස සැබෑ අත්දැකීමක් ගීතයක් බවට පත්වුනා.අවසාන වශයෙන් කිවහැකි දෙයනම් ආදරයට වයස් භේදයක් නොමැති බවයි.

ඇරඹුම...

සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක් හැමදෙනාටම රසවිදිය හැකි.ගීතය යනු හදවතට දැනෙන අදහසක් සංගීතවත් කිරිමක්.ගීතයකට පුලුවන් කෙනෙක් හිනස්සන්න වගේම හදවතක් හඩවන්නත්.එවැනි හදවතට දැනුනු ගීත සමුදායක් අතුරින් දෝතක් මේ...

''එන්න මා සමග හිතට දනුනු ගීතයක් හදවතින් කියවන්න.''